චම්පික තනියම පොලේ ගිය නයා වෙයි: එජාපය ඇතුළේ ගහන සිල්ලර ගේම මෙන්න.


(මඩ කිං -2019.අප්‍රේල්.03, පෙ.ව.10.30)

රෙද්ද බැනියම අඳින දේශපාලනඥයකු වන පාඨලී චම්පික රණවක ඇමතිතුමා "නයා තනියම පොලේ ගිය" කතාව අහලා ඇති. ඒත්  දැන් දැන් ලැබෙන පුවත් වලින් අපට හිතෙන්නේ ඇමතිතුමා කතාව අසා තිබුණත් එහි එන දේශපාලනය අතපසු කරගෙන ඇති බවයි.

සියල්ලට වඩා ඇමතිතුමාගේ මාධ්‍ය මෙහෙයවන නඩයේ හැසිරීම ඒ බව ඔප්පු කරමින් සිටියි. ඒ දේශපාලන අපරිණත භාවය නිසා විය හැක. ඔය වගේ දේශපාලන  ළදරු වල්ලිප්පු කාරයන් අප ඕන තරම් දැක තිබේ. ඒ නිසා ඔවුන් ගැන තැකීමක් හෝ අදාලත්වයක් අපිට නැත. එහෙත් මේ ආණ්ඩුවේ සිටින වැඩක් කරන අමාත්‍යවරයකු ලෙස අපි පාඨලී චම්පික රණවක ඇමතිතුමාට කැමතිය.

වැඩේ කනේ යන්න පෙර මේ ගැන ලියන්න හිතුවේ ද  ඒ නිසාය.

නයා පොලේ ගිය කතාව !

නයෙක් දින පතා පොලේ ගියේ අහිගුන්ටකයා සමඟය. එහිදී අහිගුන්ටකයා නලාව පිඹියි. නයා නලා තාලයට නටයි. මිනිස්සු සතුටින් ඒ නරඹයි. දෙදෙනාට යහමින් මුදල් ආධාරද දෙයි. මේ ආකාරයට කිසිම අඩුවක් නැතිව අහිගුන්ටකයාටත් නයා ටත් ජීවත්වීමට ඇති තරම් මුදල් මේ දෙදෙනාගේ සමගියෙන් උපයා ගන්නට හැකිවෙයි.

මේ ආකාරයට කාලය ගතවෙන විට දිනක් නයා සිතන්නේ "අහිකුන්ටකයා" ජීවත් වන්නේ තමන් නිසා බවයි. තමන්ගේ රංගනය දකින මිනිසුන් අතදිගහැර මුදල් යොදවන බවත් සිතයි. ඒ අනුව නයා අවසානයට තීරණය කරන්නේ "කොහෙවත් යන අහිකුන්ටකයකු ජීවත් කරවනවාට වඩා තමන් තනිව පොලේ ගිහින් නටා තනිව මුදල් උපයාගන්නටය."

එහෙම හිතපු නයා තීරණය ගත්ත දිනයේ තනිව පොලේ ගියේය. වෙනදා නටපු තැනට ගිහින් පෙනේ පුප්පා නර්තන පෙන්වීමට ගත්තේය. එහෙත් එදා වෙනදා මෙන් නයි නැටුම් දැක මිනිසුන් සතුටු වූයේ නැත. ඇතැමුන් පැන දිවූ අතර තවත් අය ගල් මුගුරු සොයන්න ගත්තේ නයා මරන්නටය.

ඇමති චම්පික නාගයා දුටුවාද ?

ඉතින් ඒ දවසේ නාගයාගේ ඉරණම කුමක්වීද යන්න අපට අනුව නම් අදාළ නැත. නයා පොලේ ගිය කතාවේ දේශපාලනය තේරුම් ගන්න අවශ්‍ය වන්නේ "නයෙක් පොලේ නටන්න හිතනවා නම් තනියම නැටුම් නටන්න යාම අහිතකර" බව පමණය.

ඒ බව පසක් කරමින් අප පාඨලී අමාත්‍යවරයාගෙන් අසන්නේ "ඇමති පාඨලී ඔබ ඒ නයා දුටුවාද?" යන ප්‍රශ්නයයි.

පෙළින් පෙළට යමු !

මේ ආණ්ඩුවේ වැඩක් කරන මොළයක් තියන සහ කැපවීමෙන් වැඩෙත් එක්ක ඉන්න ගොඩක් නැත. ඒ අතර ඇමති පාඨලී දිගින් දිගටම තහවුරු වුයේ වැඩක් කරන මොලයක් තියන අමාත්‍යවරයෙක් ලෙසය. ඒ නිසාම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් අතරද අමාත්‍යවරයාට සැලකිය යුතු තැනක් හිමිවූ බවද අසත්‍යක් නොවේය.

ඒ තත්ත්වය පසුගිය මහ මැතිවරණය (2015 අගෝස්තු) අවස්ථාවේ මෙන්ම ඉන් පසුවත් වර්ධනය වනු දක්නට ලැබිණ. එහෙත් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන කිසිවෙක් මෙය ප්‍රශ්නයක් කරගත්තේ නැත. එසේම පසුගිය ඔක්තෝබර් 26 ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණය අවස්ථාවේ ද පාඨලී ඇමතිවරයා කැපී පෙනෙන ආකාරයට ඉදිරියට ආවේය. එහිදීද කවුරුත් ඔහුව පාලනය කරන්න ගියේ හෝ වල කපන්න ගියේ නැත.

කොහොමටත් පාඨලී අමාත්‍යවරයා යනු ජාතික හෙළ උරුමය පක්ෂයේ නායකයාය. ඔහු ඒ තනා ගන්නේම දිනක රටේ පාලනයට එන්න මිස සෙල්ලම් ගෙයක් සඳහා නොවන බවද ඇත්තය. එහෙත් දැන් තිබෙන ප්‍රශ්නය වන්නේ පාඨලී අමාත්‍යවරයා සිය ගමන වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ යොදාගන්නා අතර එහි නායකයන් නැති කිරීමේ මාධ්‍ය මෙහෙයුමක් ද දියත්කර තිබීමය.

මංගලට ගහපු සීතල ගැහිල්ල

මේ ආණ්ඩුවේ පමණක් නොව ලංකාවේ කිසිම දේශපාලකයෙකුට නැති තරම් මීඩියා  හයියක් මංගල සමරවීර ඇමතිතුමා සතුය. විශේෂයෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි  හයිය මංගල ඇමතිතුමාගේ හයියම අවියයි. ඒ ගැන විවාද කල හැක්කේද ලදරු වලිප්පුකාරයෙකුට පමනි.

කිසිම අවස්ථාවක මංගල ඇමතිතුමාගේ වෙබ් ජාලය පාඨලී ඇමතිතුමා ට ගහනවා අප දැක නැත. ඔවුන් වෙතින් පලවූයේ ම පාඨලී ඇමතිතුමාගේ සංවර්ධන කටයුතු සහ රාජපක්ෂ රෙජීමයට එරෙහිව සිදුකළ ප්‍රකාශය.

නමුත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය සම්බන්ධ සිදුවීමේ දී පාඨලී ඇමතිතුමාගේ මාධ්‍ය ජාලය එක දිගටම මංගල ඇමතිතුමා ට හානිකර පුවත් පලකරනු දකින්නට ලැබුනි.

ඒ කිසිම පුවතක රේගු මාෆියාව ගැන ලියවුනේ නැත.

කොහොමින් හෝ මංගල ඇමතිතුමා රේගු චෝදනා පුස්සක් කර දමන්න සමත් විය. ඒ රේගු මාෆියාව හරියටම අනාවරණය කරමින්. අපි යලිත් දක්වන්නේ පාඨලී ඇමතිතුමා ගේ මීඩියා  ඒ කිසිම අවස්ථාවක රේගු මාෆියාව ගැන අනාවරණය නොකළ බවය.

ඉන්ධන මිල සූත්‍රය ඇතුළු මංගල සමරවීර ඇමතිතුමා විවේචනය වූ අනෙක් අවස්ථා වලදී ද පාඨලී ඇමතිතුමාගේ මීඩියා හැසිරුණේත් ඉහත ආකාරයටමය.

ඒ වෙන දේකට නොව, මේ ආණ්ඩුවේ දූෂණ චෝදනා නැති ඇමතිතුමෙක් ලෙස මංගල සමරවීර ඇමතිතුමා සතු කීර්තිය තවත් නැංවීම පාඨලී ඇමතිතුමාගේ ඉදිරි ගමනට බාධාවක් කියන පටු සිතුවිල්ල නිසාය.

රවීට ගහපු ගේම

පාඨලී ඇමතිතුමාගේ මාධ්‍ය නඩයේ ඒ නින්දිත ක්‍රියාව මංගල ඇමතිතුමාගේ මීඩියා කණ්ඩායම ලොකුවට ගත්තේ නැත. ඒ නිසා පාඨලී ඇමතිතුමාගේ මීඩියා සමග පටලැවිල්ලක් ගියේ ද නැත.

නමුත්  පාඨලී ඇමතිතුමාගේ මීඩියා කරන කැත වැඩේ එලියට පැන්නේ කෙරවලපිටිය  LNG බලාගාර ටෙන්ඩරය සම්බන්ධව ලක්දනවි සමාගම සමග ඇතිවූ ප්‍රශ්නයේදී ය.

අප ඉතා වගකීමෙන් අනාවරණය කරන්නේ ලක්දනවි සමාගම ට එම ටෙන්ඩරය ලබාදීම වෙනුවෙන් විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක ට එරෙහි සමාජ මාධ්‍ය වෙබ් මඩ ගැසීම මුලුමනින්ම මෙහෙයවූයේ පාඨලී ඇමතිතුමාගේ මීඩියා ටීම් එක විසින් බවයි.

ඒ වෙනුවෙන් පුවත් පලකර ගන්නට වෙබ් මාධ්‍යවේදීන් ට මුදල් ගෙවීමට පවා එම කණ්ඩායම මැදිහත්වූ අතර ලක්දනවි සමාගම ට මාධ්‍ය ගණිකාවන් සම්බන්ධීකරණය කර දෙමින් පිම්පි වැඩේට ද ඒ කණ්ඩායම දායක විය.

රවීට දැන් ගහන ගේම

අපේ නිරීක්ෂණය අනුව රවී කරුණානායක ඇමතිතුමාට ශක්තිමත් මාධ්‍ය ජාලයක් නැත. ඔහුට ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය පමනි. උතුරු කොළඹ දේශපාලන බලකොටුව ගැන දැඩි  විශ්වාසය ඇතිව කටයුතු කරන ඔහු පක්ෂය ගොඩදාන තරමට පක්ෂය තමන්ව ගොඩදානු ඇතයි සිතන චින්තක සිටියි. එසේම පාක්ෂිකයන් සහ පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ට වැඩියෙන්ම සමීප ඇමතිතුමා ද රවී ය. ඒ සමග ඔහු එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා සේම කොළඹ දිස්ත්‍රික් නායකයා ද වෙයි.

බැදුම්කර ගනුදෙනුවට පටලවා රවීගේ දේශපාලනය අවසන් කරන්න කුහක හාමුලා කිහිපදෙනකු උත්සාහ කලත් ඒ කිසිවක් සාර්ථක නොවූයේ රවී ඇමතිතුමා සහ එක්සත් ජාතික පක්ෂය අතර තිබෙන මේ ශක්තිමත් සම්බන්ධය නිසාය.

මේ මොහොතේ අපිට තිබෙන දේශපාලන කියවීම අනුව නම් පාඨලී ඇමතිතුමාගේ මීඩියා කණ්ඩායම රවී ඇමතිතුමා ඉලක්ක කරගෙන පහර දෙන්නේ ලක්දනවි සමාගම වෙත කෙරවලපිටිය LNG බලාගාරය ලබාදීමට කරන බලපෑමක් ලෙස පමණක් නොවේ.

රවී කරුණානායක ඇමතිතුමාගේ කොළඹ දිස්ත්‍රික් නායකත්වය උදුරා ගැනීමේ උත්සාහය ද ඒ පසුපස ඇත. මේ වන විට පාඨලී ඇමතිතුමාගේ මීඩියා කණ්ඩායම මේ නින්දිත උත්සාහයේ කොතරම් දුරක් ගිහින් තිබෙනවාද කියනවා නම් සිය ලක්දනවි සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂවරයා විමල් වීරවංශ මන්ත්‍රීවරයා වෙත යවා තොරතුරු ලබාදෙන තරමට දුර ගිහින් ඇත.

ලංකා නිව්ස් වෙබ් අනාවරණය !

මේ ගැන සාක්ෂි දරන්නේ අපේ තොරතුරු මූලාශ්‍ර පමණක් නොවේ. ලංකා නිව්ස් වෙබ් අඩවියත් මේ ගැන අනාවරණය කර ඇත. ඒ සම්බන්ධව ඔවුන් අනාවරණය 2ක් සිදුකළ අතර ඒවා පහත දැක්වෙයි.

1: විදුලි බල අර්බුදය හමුවේ LTL සමාගම රවීට එරෙහිව පොහොට්ටුව සමග කුමන්ත්‍රණයක?
2: 'ලක්දනවි' සහ 'WindForce', කෙරවළපිටිය LNG බලාගාර ගැටුම !

එකට සිට අරින කලාවේ පිකාසෝ

මේ අනුව නම් පෙනීයන්නේ මේ වෙනකොටත් එකට සිට ඇරීම කලාවක් නම් එහි පිකාසෝ වීමේ සුදුසුකම පාඨලී ඇමතිතුමා සම්පූර්ණ කරමින් සිටින බවය. එහෙත් ඒ ගැන වන අපේ කියවීම නම් පාඨලී ඇමතිතුමා මේ අරින කලාවට ගිහින් වරිගේ නසා ගන්නට ළඟ බවය.

සැබැවින්ම රාජපක්ෂ රෙජීමය තුළ රාජපක්ෂ නොවන නායකයන් ට උඩට එන්න දෙන්නේ නැත. ඒ පවුල් වාදය තුල නායකයකු වෙන්න හිතනවා නම් ඒ කවුරු හෝ රාජපක්ෂ කෙනෙකුට යටත්ව මිස රාජපක්ෂලාට ඉහලින් කිසිවෙකුට ඉඩක් නැත.

නමුත් එක්සත් ජාතික පෙරමුණ තුල එවැන්නක් නැත. එය ලිබරල් නායකයන් බිහිවීමට ඉඩ තබා තිබේ. ජාතික හෙළ උරුමය හරහා මේ කපේ එන්නට බැරි තැනකට පාඨලී ඇමතිතුමා ඉස්සුනේ අන්න ඒ ලිබරල් නිදහස තුළ ය. එහෙත් ඒ නිදහස අවභාවිත කර ඉන්න නායකයන් ට ඇර අලුත් නායකයන් හොයන තැනක එක්සත් ජාතික පක්ෂය හෝ එහි ක්‍රියාකාරීන් නැත.

ඒ නිසා පක්ෂයේ නියෝජ්‍ය නායකයා වන සජිත් සමග පක්ෂ නායක රනිල් කෙටවීම, රවී - සජිත් කෙටවීම, මංගල, මලික්, මාරපන, අකිල, නවීන් වැන්නන්ට සීතලට ගැසීම වැනි සිල්ලර මාධ්‍ය ගේම් අවසන් කල යුතුව ඇත. සැබැවින්ම ඔබට රටේ නායකත්වය දක්වා වුවද  ගමනක් ඇතත්, ඒ ගමන මේ කුහක වැඩ නිසා අතර මග ඇන හිටින ලකුණු පහලවී ඇත.

පාඨලී ඇමතිතුමා නයා තනියම පොලේ ගිහින් නටපු බව ඇත්ත. ඒත් ඊට පස්සේ...!
චම්පික තනියම පොලේ ගිය නයා වෙයි: එජාපය ඇතුළේ ගහන සිල්ලර ගේම මෙන්න. චම්පික තනියම පොලේ ගිය නයා වෙයි: එජාපය ඇතුළේ ගහන සිල්ලර ගේම මෙන්න. Reviewed by Admin on 12:31 AM Rating: 5

No comments

Top Gossip

gossip