තොප්පිය හරි නම් දාගන්න: රවී - සජිත් ගැටුමේ ඇත්ත නැත්ත.


අවසන් සටන රවී කරුණානායක අමාත්‍යවරයා පටන්ගෙන ඇත. කොටින්ම කියනවා නම් එය දැන් දෙබරයට ගැසූ ගලක් වී හමාරය. සැබැවින්ම අනෙක් පක්ෂ වලට කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාක්ෂිකයන් බහුතරය අන්දමන්ද වී සිටියි.

ඒ සාධාරණය. මන්ද සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පක්ෂයේ නියෝජ්‍ය නායකයාය. අමාත්‍ය රවී කරුණානායක පක්ෂයේ උප නායකවරයාය. කළු මාධ්‍ය උත්සාහ දරමින් සිටින්නේ මේ ප්‍රශ්නය දෙදෙනා අතර ඇති බල පොරයක් බව පෙන්වා රාජපක්ෂ රෙජීමයට අවස්ථාවක් ලබාදීමටය. එහිද අර්ධ සත්‍යක් ඇත.

මෙහි පැහැදිලි බල පොරයක් පවතී. නමුත් එය දෙදෙනා අතර  පෞද්ගලික ප්‍රශ්නයක් ලෙස  ගැනීම කිසිසේත් නිවැරැදි නැත. ඒ මෙතැන බල පොරයක් තිබෙන බව සත්‍ය වන තරමට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ශක්තිමත් කිරීමේ සහ එහි නායකත්වය ආරක්ෂා කිරීමද ඇතුලත් නිසාය. එය මෙහි ප්‍රධාන කරුණ වී ඇති නිසාය.

ඒ අනුව රවී - සජිත් ගැටුම තේරුම් ගැනීමේ නිවැරැදි මානය වන්නේ මේ ගැටුම තුල පක්ෂය, ඊට ඇති ආණ්ඩු බලය, පක්ෂ නායකත්වය බාල්දු නොකරන, ඊට තිබෙන පක්ෂපාතිත්වය ආරක්ෂා කරන්නේ කවර පාර්ශවයද යන්නය.

රවීගේ අවුරුදු ප්‍රහාරය !

ඒ අනුව රවී කරුණානායක අමාත්‍යවරයා කියන්නේ අම්මා අප්පා කවුද යන්න  පක්ෂ නායකත්වය හෝ අග්‍රාමාත්‍ය ධූරය ලබාගැනීම වෙනුවෙන් සුදුසුකමක් නොවන බවය. එසේම තම පරම්පරාවේ ගුණ වැයීමට වඩා පක්ෂයට වැදගත් වන්නේ අවම වශයෙන් තම ආසනය හෝ ජයග්‍රහණය කර පෙන්වීම බවය. පෞද්ගලික ප්‍රතිරූපය නංවා ගැනීම වෙනුවට පක්ෂ නායකත්වය ආරක්ෂා කරගෙන පක්ෂ ප්‍රතිපත්තිය ජනතාව අතරට ගෙනයාමට කටයුතු කලයුතු බවය.

මේ සියල්ල රවී කරුණානායක අමාත්‍යවරයා කියන්නේ සජිත් ඇමතිතුමාගේ නම සදහන් කර නොවේය. එහෙත් තොප්පිය හරියටම සෙට් වන්නේ සජිත් ට නිසා ඔහු එය පැළදගෙන ඇතුවා පමණක් නොව සිය මාධ්‍ය ජාලය යොදවා රවී කරුණානායක අමාත්‍යවරයාට එරෙහි දැඩි ප්‍රහාරයක් එල්ල කරන්නට ගෙන ඇත.

සජිත් තොප්පිය දාගනියි !

සැබැවින්ම නම නොකියා ඇතත් තොප්පිය දාගැනීමට අදාලව සජිත් නිවැරැදිය. ඒ රවී කරුණානායක අමාත්‍යවරයා එල්ල කරන සෑම චෝදනාවට අදාල වැඩ ටික සජිත් කර තිබෙන නිසාය. එය අනාගතයට පමණක් නොව ඊයේට සහ අදටත් ගැලපෙන්නේය.

සියල්ලට වඩා වැදගත් වන්නේ මේ "තොප්පිය" දාගත් සජිත් ඇමැති ඊට ප්‍රතිචාර දක්වමින් සිටින ආකාරයයි.

සජිත්ගේ ප්‍රතිචාරය !

දැන් සජිත් පිළිතුරු දෙන්නේ මහ බැංකුව යොදාගනිමින්ය. ඔහු කියන්නේ බැංකුව කඩපු එකා වසලයා කියා බුදු බණේ ඇති බව කියමිනි. එසේම මා පිය සත්කාරය ගැන බුදු බණේ කියා ඇතැයි කියමින්‍ ය. එසේම රට ආලෝකමත් කරන්න පැතුවත් රට අන්ධකාරයෙ කියමිනි.

මේ චෝදනා සියල්ල එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට එල්ල කරන්නේ දේශපාලන විරුද්ධවාදීන් විසින් බව අසත්‍යක් නොවේ. ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනුව සම්බන්ධව ජනාධිපති කොමිසමක් පවා පත්කෙරුණා අපට මතකය. එහෙත් එහිදී පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ පක්ෂ උප නායක රවී කරුණානායක අමාත්‍යවරයා වරදකරුවන් වූයේ නැත.
ඒ ගැන එහි අවසන් වාර්තාව සාක්ෂි දරයි. එපමණක් නොව එහි එන වැදගත් යෝජනාව වන්නේ මේ ආණ්ඩුවට පෙර පැවති රාජපක්ෂ රෙජීම පාලන සමයේ බැදුම්කර ගැන සොයා බැලිය යුතු බවය.

එහෙත් ඒ සියල්ල වසා රාජපක්ෂ කදවුරේ අය ආණ්ඩුවට ගහන්නේ අටමගල් බැදුම්කර කතාව යොදාගනිමින් ය. ඒ සමයේ රවී කරුණානායක මුදල් ඇමැති වුවත් මහ බැංකුව පැවතියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ අමාත්‍යාංශය යටතේය.

කට සජිත්ගේ - හඩ විපක්ෂයේ !

ඒ නිසා වැඩි කතා අනවශ්‍යය. බැදුම්කර කතාව විපක්ෂ උස්සන්නේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට පහරදීමට ය. සජිත් සිය තොප්පිය පැළද, ප්‍රතිචාර දක්වමින් ඉන්නේ ද විපක්ෂයේ සටන් පාඨ කියමින් ය. මෙහිදී සජිත් ඇමැතිගේ උපක්‍රමය පැහැදිලි ය. ඒ රවීට පහරදෙන බව පෙන්වා රනිල්ට ගැසීමය.

බැදුම්කර ගනුදෙනුව ගැන අවධානයෙන් සිටි ඕන අයෙකුට ඒ බව නොතේරෙන්න විදියක් නැත.

අනෙක් අතට සජිත් පසුගිය සමයේ නිතර මැතිරූ මන්තරයක් ඇත. ඒ ඇතමුන්ට ජනාධිපතිවරණයක් අවශ්‍යව තිබුණත් තමන්ට අවශ්‍ය නිවාස ප්‍රශ්නය විසදීමට බවය. ඉතා පැහැදිලිව සජිත් සිය පසුගිය කතා ඉලක්ක කළේම ජනාධිපතිවරණයට හදිසි නොවිය යුතුයි යන්නය.

පක්ෂයේ අවශ්‍යතාව සහ සජිත්ගේ අවශ්‍යතාව !

සැබැවින්ම ජනාධිපතිවරණයක් ලබාගැනීම, විශේෂයෙන් මහ මැතිවරණයකට පෙර ජනාධිපතිවරණයක් ලබා එය ජයග්‍රහණය කිරීම එක්සත් ජාතික පෙරමුණ පාර්ශවයේ මූලික අභිලාෂය බව නොදන්නා කෙනෙක් නොමැත. එය එසේ තිබියදී සජිත් කියන මේ හරුපය කුමක්ද ?

මේ මොහොතේ ජනාධිපතිවරණයක් පළමුව පැවැත්වීමට අපහසුව ඇත්තේ ජනාධිපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ පාර්ශව වෙතය. ඒ ඔවුන් තවමත් එක් සන්ධානයක් වීමට නොහැකිව ඇති නිසාය. පාර්ශව දෙක වෙන වෙනම ඉදිරිපත් වුවහොත් පරාජය සහතික නිසාය. එවැනි පසුබිමක සජිත් ජනාධිපතිවරණයක් වෙනුවට නිවාස ඉදිකිරීමක් ගැන කියන කතාව කුමක්ද ?

සජිත්ගේ පසුගිය දශකයක දේශපාලන හැසිරීම බලන්න!

ඊට පැහැදිලි පිළිතුරක් අප සතුව ඇත. එනම් සජිත් පසුගිය දශකයක පමණ කාලයේ සිට පක්ෂ න්‍යායපත්‍රයට අනුව නොව තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍රයට අනූව දේශපාලනය කිරීමය. දැන් නියෝජ්‍ය නායකට මෙහෙම කීම ගැන ඇතැම් එජාප පාක්ෂිකයන් උරණ විය හැකිය. ඒ කාටත් එකට තබා අපට කියන්න ඇත්තේ ඔය ඔළුගෙඩි ඇතුලේ ඇති මොළගෙඩිය වෙහෙසා සජිත් කරන වැඩ අධ්‍යයනය කරන ලෙසය.

කුරුදු පොලු සිදුවීම ඔබට මතකද? එදා රාජපක්ෂ පාලන සමයේ පසෙකින් සුදුවෑන් එවා පොදුවේ සමාජය භීතියට පත්කර තිබිණ. එක්සත් ජාතික පක්ෂය අන්තිම ධෛර්යය අවසන් කර ගනිමින් සිටියේ යළි එය කවදා පන්නරය ලබයිදෝ යන සැකය පාක්ෂිකයන් තුල තබමින් ය.

කුරුදු පොලු සටන !

ඒ මොහොතේ විපක්ෂ නායක ලෙස රනිල් කීවේ " මාව විශ්වාස කරන්න, පක්ෂය සංවිධානය කරන්න, 2014 අවසානයේදී බලය අරගන්න පක්ෂයට හැකි යි" කියාය. එහෙත් සජිත් කළේ මෛත්‍රී ගුණරතන සහ ශිරාල් ලක්තිලක සමග පක්ෂ නායකත්වය ඇල්ලීමට පා ගමන් සංවිධානය කිරීමය. අද මෙන්ම එදා බොහෝ unp සාමාජිකයන් සිටියේ කළ යුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිවය. 

දෙවරක් නොසිතා මාතරින් කුරුදු පොලු සටන අරඹා ගමන හරවා පක්ෂ නායකත්වය රකින්න මංගල සමරවීර කටයුතු නොකරන්න, අදත් unp පාලනය මේ තරමටවත් නැත.

පක්ෂ සම්මේලනයේදී රනිල්ට හූ කියවූ අතීතය !

පක්ෂ සම්මේලනයේදී නායකත්වය ට හූ කියවා චොර කරවන්න සූදානම් කරවූයේ සජිත් නොවේද ? එදා සජිත් පක්ෂයේ නියෝජ්‍ය නායකයා වූයේ කවර දක්ශතාවක් පෙන්නුම් කරලද ? කඩින් කඩ පැවැත්වූ පළාත් සභා මැතිවරණයක් හෝ භාරගෙන ජයග්‍රහණය කරවීමට  බිම් මට්ටම ගැන නිතර දොඩවන ඔහු මැදිහත් වුනාද ? නැත. සජිත් නියපොතු කමින් සිරස මහරාජා ගේ සල්ලි වලින් මැශින් බෙදීම, සසනට අරුණ කියා පන්සල් වලට සල්ලි බෙදීමට වඩා දෙයක් සජිත් එදා කළේද නැත.

ඒ අනුව සජිත් පක්ෂයේ නියෝජ්‍ය නායකයා වූයේ පොදු සටන එනම් රාජපක්ෂ රෙජීමය පරාජය කිරීම වෙනුවෙන් පක්ෂය සමගි කිරීම අත්‍යවශ්‍ය බව සලකා එහි නායක රනිල් ගත් තීන්දුව නිසාය.

ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය හමුවේ සජිත් !

ඒ සමයේ සිදුවූ තවත් බොහෝ දේ තිබේ. ඒ ලිවීම පසුවට තබා අප සිහිපත් කරන්නේ 2018 ඔක්තෝබර් 26 දියත්වූ දේශපාලන කුමන්ත්‍රණයයි. ඒ අවස්ථාවේ සජිත් ගේ හැසිරීම ඔබට මතකද? ඔහු පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස හැසිරීමක් ඔබ දුටුවාද? අතේ ඇගිලි ගණනටත් අඩුවෙන් අරලියගහ මන්දිරය ට පැමිණි සජිත් පාක්ෂිකයන් දිරිමත් කලා ඔබ දුටුවාද? කොළඹ පැවති යුක්තියේ ජන හඩ අමතා සජිත් කීවේ කුමක්ද ? පාර්ලිමේන්තු වේ එක් වරක් පමණක් මාධ්‍ය හමුවක් පවත්වා ඔහු කීවේ කුමක්ද ? 

අප්පොච්චිගේ ගුණ ගැයුවා මිස ඊට වඩා දෙයක් ඔහු කළේ නැත. ඒ කිසිවක් සජිත් නොදැන සිදුකළ දේ නොවේය. ඒ සියල්ල පිටුපස සැගවුනු න්‍යාය පත්‍රයක් ඔහුට තිබිණ. ඒ සිරිසේන සහ සිරස මහරාජා ගේ සරණින් පක්ෂ නායකත්වය අල්ලා ගැනීමය. දින 52 දේශපාලන කුමන්ත්‍රණය ගැන සහ ඊට අදාල සජිත් ගේ භූමිකාවේ දේශපාලන ප්‍රශ්න තවත් බොහොමයක් ඇත. ඒ ගැන අප ඉදිරියේ අනාවරණය කරන අතර, එතෙක් කියන්න ඇත්තේ සජිත් ඔයා මාට්ටුවෙලා ඉවරයි. රවී හරි වෙලාවෙ නියම නිලයට පහරදී ඇතැයි කියා පමණය. 

ඒ බව තවදුරටත් සනාථ කරන්නේ "රවී බැදුම්කර සල්ලි වලින් සජිත් ට ගහනවා" කියමින් සිරිසේනගේ මාධ්‍ය නඩය සජිත් වෙනුවෙන් කරන මැදිහත්වීම ය. මෙතැන අවධානය යොමුකළ යුතු තවත් වැදගත් කරුණ වන්නේ සජිත් ට ගහනකොට සිරිසේනගේ මාධ්‍ය ජාලයට රිදෙන්නේ ඇයිද යන්නය.

ඒ ගැන ඉදිරියටත් මඩකිං (Mada King) දේශපාලනය ලියන අතර ඕනෑම එජාප පාක්ෂිකයෙකුට මේ සංවාදය විවෘත බවද සලකන්න.
තොප්පිය හරි නම් දාගන්න: රවී - සජිත් ගැටුමේ ඇත්ත නැත්ත. තොප්පිය හරි නම් දාගන්න: රවී - සජිත් ගැටුමේ ඇත්ත නැත්ත. Reviewed by Admin on 11:23 PM Rating: 5

1 comment

  1. Sajith premadasasada sampradaika deshapalakayek witharai.wisaduma ranil wickramasinghayanya

    ReplyDelete

Top Gossip

gossip