'එජාප අපේක්ෂකයා මමයි' - රනිල් කියයි: සජිත් සිරිසේන සමඟ දීග යයි!


එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් තමන් ඉදිරිපත් වන බව පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (06) නිවේදනය කර තිබේ. 

ඊයේ දහවල් අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යේෂ්ඨයින්ගේ රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත. 

මෙම රැස්වීමට නොපැමිණි ප්‍රබලයින් දෙදෙනා වූයේ මංගල සමරවීර මහතා සහ ඔහුගේ නායක සජිත් ප්‍රේමදාස මහතාය. 

අනෙකුත් කැඳවීම් ලද ජ්‍යේෂ්ඨයින් මීට සහභාගී වී ඇති අතර ඔවුන් අමතමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ "කවුරුත් අපේක්ෂකත්වයට පොරකන්න අවශ්‍ය නෑ. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. මම දිනලා පෙන්නනවා" යනුවෙනි. 

මලික් සහ කබීර්ගෙන් විරෝධතා 

මෙහිදී මීට ක්ෂණිකව විරෝධය පළ කර ඇත්තේ සජිත් පාර්ශ්වයේ කැරළි නායක මලික් සමරවික්‍රම මහතා සහ ඔහුගේ සහායක එජාප සභාපති කබීර් හෂීම් මහතා විසිනි. 

"එහෙම කොහොමද ? අපි ඊයෙත් කුරුණෑගල තිබ්බ රැස්වීමට විශාල සෙනඟක් ආවා. ජනතාවගේ ඉල්ලීම ඒක. ඒනිසා මේක අසාධාරණයි" යනාදී වශයෙන් ඔවුන් සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් කරුණු දක්වා තිබේ. 

මම එනවා. මම දිනනවා !

අග්‍රාමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින් "රැස්වීම්වලට සෙනඟ එනවා තමයි. යූඑන්පී රැස්වීම්වලට කොහොමත් සෙනඟ එනවා. දැන් ලබන සතියේ ඉඳලා මාත් රැස්වීම් තියන්න පටන් ගන්නවා. එතකොට මං ඔයිට වඩා සෙනඟ ගෙන්නලා පෙන්නන්නම්. 

මූලිකම දේ වෙන්නේ පක්ෂයේ එකමුතුව රකින එක. එක එක්කෙනා පුම්බන්න යන්න එපා, පක්ෂය කල්ලිවලට කඩන්න එපා. ඒක අපේ ජයග්‍රහණයට බාධාවක්. මේවා බේරන්නම බැරි නිසා තමයි මටම කොහොමත් ඉදිරිපත් වෙන්න වෙන්නේ. 

මම එනවා, ඕනෙ කෙනෙක් එක්ක තරග කරනවා. මම දිනනවා" යනුවෙන් අවධාරණය කළ බවයි වාර්තා වන්නේ.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා සිරිසේන සමඟ සන්ධානගතවීමට තීන්දු කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් යෝජනා කළ පොහොට්ටු සලකුණ හැර වෙනත් සලකුණකින් තරග කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එකඟ නොවීම එම දෙපාර්ශවය අතර සාකච්ඡා බිඳ වැටෙන තත්ත්වයට පත්ව තිබීම නිසා තනිව හෝ සජිත් සමඟ තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සජිත් නව පක්ෂයකින් - හරීන්

කෙසේවුවද, අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූවහොත් සජිත් ප්‍රේමදාස මහතා නව පක්ෂයකින් හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බව හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ අතර මාධ්‍යට පවසා තිබේ.

එජාපය දෙකඩ කිරීමේ ශ්‍රීලනිප කුමන්ත්‍රණය

මේ අතර, රනිල් හා සජිත් පාර්ශවය අතර භේදයක් නිර්මාණය කර එජාපය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක් දියත්වූ බවට ලක්ෂමන් කිරිඇල්ල මහතා ඊයේ (06) පැවැති එජාප ජ්‍යෙෂ්ඨයන් අතර රැස්වීමේදී හෙළිකර තිබේ.

එජාපයේ කොටසක් හා ශ්‍රීලනිපය එක්කොට ජනපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ සැලැසුමක් තිබූ බවද එහිදී හෙළිව ඇත.


එහිදී, කිරිඇල්ල මහතා පාස්කු ප්‍රහාරයෙන් පසුව සියළු මුස්ලිම් ඇමතිවරු තම තනතුරුවලින් අස්ව සිටියදී රහසේ ගොස් ජනපතිවරයාගෙන් අමාත්‍ය ධූරයක් ලබා ගැනීම සම්බන්ධයෙන්ද කබීර් ඇමතිවරයාට චෝදනා එල්ල කර තිබේ.

'එජාප අපේක්ෂකයා මමයි' - රනිල් කියයි: සජිත් සිරිසේන සමඟ දීග යයි! 'එජාප අපේක්ෂකයා මමයි' - රනිල් කියයි: සජිත් සිරිසේන සමඟ දීග යයි! Reviewed by Admin on 11:49 PM Rating: 5

No comments

Top Gossip

gossip