ලිබරල් ග්‍රෙනේඩ් එකක්: සජිත්ට අසාධ්‍යයි.


(මඩ කිං -2019.ජූලි.11, ප.ව.06.30)

ජනාධිපති අපේක්ෂකත්වය ගන්න නම් අඩුම ගාණේ සාමාන්‍ය පෙළ හෝ සමත්ව සිටිය යුතුයි කියන්නේම ලිබරල් ග්‍රෙනේඩ් එකක්.

මේ ලිබරල් ග්‍රෙනේඩ් එක දේශපාලන කරළියට ගැහුවේ රවී  කරුණානායක. තොප්පිය හරි කාට වුණත් දාගන්න ගහපු ඒ ලිබරල් ග්‍රෙනේඩ් එක  අතට අරගෙන පින් එකත් ගලවලා සාක්කුවේ දාගත්තේ  පක්ෂ නායකත්වය අල්ලන්න කුරුමානම් අල්ලමින් සිටි සජිත් ප්‍රේමදාසට.

 ඒ වෙන කොටත් සජිත් හිටියේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න කුරුමානම් අල්ලමින්. දන්නා හැම විදිහකින්ම, අගමැති ධුරයේ සිට විවිධ වරදාන ගැන ඩීල් දමමින් කැරකුණේ ඒ වෙනුවෙන්. ඒ කවුද මොනවද කියලා කියන්න මේක තැන නෙවෙයි.

කොහොම නමුත් රවී කරුණානායක  ගහපු ලිබරල් ඩප්පිය අතට නොගන්න ඔහුට තුවාල වෙන්නේ නෑ. නමුත් ඔහු එය අහුලා ගත්තා. පින් එකත් ගලවලා සාක්කුවේ දාගත්තා. අහක යන ඩප්පි අරගෙන සාක්කුවේ දාගත්තේ මොකටද?

ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ට්‍රම්ප් ඉදිරිපත් වන අවස්ථාවේ ඔහුටත් මේ වගේම ලිබරල් ග්‍රෙනේඩ්  ප්‍රහාර එල්ල වුණා. නමුත් ඔහු ඒ ග්‍රෙනේඩ්  ඇහිඳින්න ගියේ නෑ . ඒ වෙනුවට ඔහු කළේ ඒ මොහොතේ ඇමරිකානු ජාතික අභිලාශය වෙනුවෙන් ආමන්ත්‍රණය කිරීම. බ්ලූ ජෝකර් කෝටිපතියෙක් ඇමරිකාවේ ධවල මන්දිරයට ගියේ අන්න එහෙමයි.

ඒත් සජිත් කියන්නේ එහෙම මීටරයක් නෙවෙයි. ඔහු බලාගෙන ඉන්නේ දෛවය ගැන විශ්වාසය තියලා. මොකද සජිත්ට මේ දක්වා ලැබුණ කිසිම දෙයක් ඉබේ කටට වැටුනා මිස උත්සාහයෙන් ධෛර්යයෙන් ගත්ත දෙයක් නෑ. නිකමට අරගෙන බලන්න. රණසිංහ ප්‍රේමදාස තාත්තා නිසා ජනාධිපතිගේ පුතෙක් වුනා. ජනාධිපතිගේ පුතෙක් නිසා හම්බන්තොට එජාප නායකයා වෙන්න ලැබෙනවා. පාර්ලිමේන්තුවට එන්නත් ජෙෂ්ඨ අමාත්‍යවරයෙක් වෙන්නත් අවස්ථාව ලැබෙනවා.

ඔය අතරේ තමයි, පක්ෂ නායකත්වය අල්ලාගෙන එජාපය අල්ලන්න සජිත්ට ආස හිතෙන්නේ. ඒ අවස්ථාවේ දයාසිරි ජයසේකර වැනි එජාපයේ හිටපු තරු වගේම ජේෂ්ඨයින් සහ ශිරාල් ලක්තිලක වැනි බුද්ධිමත් කොටස් සජිත් සමඟ ගමනක් යන්න හිතාගෙන රනිල් වික්‍රමසිංහ නායකතුමාට එරෙහිව කැරැල්ලක් පටන් ගන්නවා. මංගල සමරවීර ඒ අවස්ථාවේ ශ්‍රීලනිපය අත්හැරලා එජාපයට ඇවිත් හිටියේ. මංගල කුරුඳු පොලු අරගෙන පාරට බැස්සේ ඒ අවස්ථාවේ. ඒ වගේම පක්ෂ සම්මේලනය අවස්ථාවේ සජිත්ලා ගහන්න හිටපු ගේමත් අනිත් පැත්ත හරවන්න පාක්ෂිකයන් මුල්වුණා.

අන්තිමට මේ වැඩේ අවසන් වුණේ ශිරාල් ,දයාසිරි වගේ උදවියගේ පස්ස නැති වෙලා. එදා ඒ උදවිය පක්ෂය කඩන්න ගිහින් චොර වුනත් සජිත් නෙවෙයි හැරිලා බැලුවේ. මීක් නැතිව හිටියා, වගේම ඒ කැරැල්ලට පිං සිද්ධ වෙන්න පක්ෂයේ නියෝජ්‍ය නායකයා වුනා. සිරිසේන - රාජපක්ෂ අශුද්ධ හවුල ඔක්තෝබර් 26 දියත් කල ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණය අවස්ථාව ගැන සිහිපත් කරන්න. මතකද ඒ අවස්ථාව. සජිත් අරලියගහ මන්දිරයට ඇවිත් මොකද කළේ? රනිල් නායකතුමාට වැටෙන්න ගහන සජිත් සමඟ ගමනක් පිටු සිරිසේන - රාජපක්ෂ අශුද්ධ සන්ධානයට ගැහුවද ? නෑ. මෛත්‍රීපාල එක්ක හොරෙන් හොරෙන් සාකච්ඡා කළා මිස සජිත් කරපු අටමගලක් නෑ .  ඒ කියන්නේ සජිත් කියන්නෙත් සිරිසේනටම හරියන පිං නායකයෙක් මිසක් වෙන අයෙක් නොවන බව කැට තියන්න ඕන නෑ.

 සටනක් කරන්න, ධෛර්යයක් ඇතිව කැපවෙන්න දන්නේ නෑ, ළඟට වැටෙන දෙයක් ඇහිඳගෙන කටේ දාගන්නවා මිසක් වෙන දෙයක් සජිත් දන්නේ නෑ.  අන්න ඒ නිසා තමයි අහක යන ඩප්පි අරගෙන සාක්කුවේ දාගන්නේ. රවී කරුණානායක විතරක් නෙවෙයි, රනිල් වික්‍රමසිංහ නායකතුමාත් මේ ගැන දන්නවා. ඒ නිසා තමයි රවී කරුණානායක බය නැතුව පින් එක  නොගලවාම ලිබරල් ග්‍රෙනේඩ් එකකින්  දමලා ගැහුවේ.

සජිත් ඒ වෙනකොටත් හිටියේ ජනාධිපති අපේක්ෂකයාට සූට් මහගෙන. මංගලත් දිනන අපේක්ෂකයා සජිත් කියලා වෙඩිල්ල පත්තු කරලා තිබුණේ. අන්න ඒ වගේ හොඳ සර්විස් එකක් ලැබිලත් සජිත්ට තේරුණේ නෑ ඉදිරි ගමන යන ගේම් ප්ලෑන් එක මොකක්ද කියලා.

"සජිත් ඒ නිසා සාමාන්‍ය පෙළ සමත්ද ?" කියන ග්‍රෙනේඩ් එකේ  පින් එක ගැලෙව්වා. ඔන්න දැන් තුවාල වෙන්න අරගෙන. අපි පෙන්නන්න යන්නේ එයින් වූ එක තුවාලයක්. මේ තුවාලය අපිට පෙන්වන්නේ සජිත්ගේ පෞරුෂය. සජිත් කියන්නේ කොච්චර ලොකු පෞරුෂ ආබාධයකින් පෙළෙන්නෙක්ද ? ඔහු සතු හීනමානයේ තරම ගැන දළ අදහසක් මේ හරහා අපට ගන්න පුළුවන්.

ඔබට මතක ඇති පසුගිය දිනයක සජිත් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් වෙනුවට ක්‍රීඩා සුදුසුකම් පෙන්වන්න හිතාගෙන ෆේස්බුක් වෙත යොමුකළ පින්තූරය. එය පහත දක්වලා තියනවා කාටත් බලාගන්න. මේ පින්තූරය හරහා සජිත් උත්තර දෙන්නේ රවී කරුණානායකට. දෙන්නම් රවියට කියලා හිතාගෙන සජිත් මේ පින්තූරේ ෆේස් බුක් දැම්මත් ඒ හරහා පෙන්නුම් කරන්නේ මොකක්ද? සජිත් කියන්නේ අඩුම ගාණේ දක්ෂ ක්‍රීඩකයෙක්වත් නොවෙයි කියන කාරණය.


සජිත් ඒ පින්තූරේ පිටුපස පේළියේ හිටගෙන ඉන්නවා. එදාත් ජනතාව ගැන හිතලද කොහේද මේ තියන ස්ට්‍රෙස් (ආතතිය) ඒ මුණේත් පැහැදිළිව තියනවා.පින්තුරේ හැටියට සජිත් Mill Hill school  නියෝජනය කරලා. ඒත් ලකුණු කීයද ? ලකුණු 7යි. ටීම් එකම ගහන්නේ ලකුණු 80යි. අඩුගානෙ ලකුණු දහයක් ගැහුවා නම් ටීම් එකෙන් අටෙන් එකක් ස්කෝර් කළේ සජිත් කියලා සැනසෙන්න තිබුණා. ඒ කියන්නේ සජිත් දක්ෂ ක්‍රීඩකයෙක් නොවෙයි. කවුරුත් නැති නිසා ටීම් එකේ තැනක් ලැබුණ පිනා චාන්ස් ක්‍රීඩකයෙක්.

වැඩේ තියෙන්නේ එතන නෙවෙයි,

අනේ අසරණ, සදා අනාථ, රටත් අනාථ කර පක්ෂයත් අනාථ කරන්න හදන සජිත්,

අර රවී ගහපු ලිබරල් ග්‍රෙනේඩ් එක හරහා ප්‍රශ්න කළේ ඇත්තටම ඔයාගේ සාමාන්‍ය පෙළ ගැන නෙවෙයි? ඔයා ලංකාවේ සාමාන්‍ය පෙළ සමත්ද නැද්ද කියන එක බොහොම පොඩි දෙයක්. නමුත් රවී කරුණානායක ඒ ප්‍රශ්න කළේ රටේ ඊළඟ රාජ්‍ය නායකයා වෙන කෙනාගේ දෘෂ්ටිය ගැන. නැත්නම් අයිඩියාලොජි එක.

ඔහු මේ රට මේ තියන අභාවාචී ඉරණමින් උඩට උස්සලා ගන්න පුලුවන් නායකයෙක් වෙන්න ඕන. ඔහුට මේ කුඩා දුපතේ ඉඩම් පරිභෝජනය සහ සීමිත ඉඩම් ප්‍රමාණය දැක්මක් ඇතිව කළමනාකරණය කල හැකි අයෙකු වෙන්න ඕන, දිනෙන් දින වෙනස් වන ගෝලීය ආර්ථික සහ වෙළඳපොල හැසිරීම ගැන ඉවක් ඇති අයෙකු වෙන්න ඕන. තවදුරටත් ගඩොලට, සපත්තු දෙකට හෝ සරදියෙල් වගේ රාජ්‍ය භාණ්ඩාගාරය වනසගෙන රට හදන්න බැරි බවත් ජනතාව නිෂ්පාදනය සහ සේවා ආර්ථිකය තුළ ශක්තිමත් කර ලෝක ආර්ථික දාමයට එක්කරන දැක්ම ඒ නායකයාට තියෙන්න ඕන. අධිරාජ්‍යවාදය, නව යටත් විජිත වාදය දැන් රටවලට කඩා වදින්නේ කොහොමද ? අපි කොහොමද රටක් ලෙස එය පාලනය කරගන්නේ කියලා තියුණු දැක්මක් ඇති අයෙක් වෙන්න ඕන. දැන් රට වල ස්වෛරීභාවය අහෝසි වෙන්නේ යුද මැදිහත්වීම් වලට වඩා මානව අයිතිවාසිකම් නොරැකීම, ශිෂ්ට සමාජය පිළිගත් මානව මුලධර්ම (මරණ දඬුවම) නොතැකීම වගේ සිදුරු ඔස්සේ කියන දේ ගැන අවබෝධයක් තියෙන්න ඕන.

ඔන්න ඔය දැක්ම තමයි, රවී කරුණානායක මතු කළේ. ඉතින් අහක යන ග්‍රෙනේඩ් සාක්කුවේ දාගෙන ඔයා කළේ ඔයාගේ "ග්‍රාම්‍ය" දෘෂ්ඨිය එළියට දාපු එක. ඔයා හරියට ඉගෙන ගන්න බැරි, කොච්චර අසාර්ථක වුණත් මහා ලොකුවට හිතාගෙන ඉන්න කෙනෙක් බවට හිතාගෙන ඉන්න උද්දච්ච  හීනමානය  එළියට දාපු එක. අර උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරු තියරියත් ඕකම තමයි.

ඉතිං ඔය වගේ ලෙඩ ගොඩක් එක්ක ගමනක් අපිට වගේම මේ රටේ සුවහසක් ජනතාවටත් නැති බව දැන් හොඳටම පැහැදිළියි. ඒ ගැන ඔයාට සැක නම් ඔහොම යමු, අපි ගොඩක් වැඩ අතරේ ඉඩක් තිබුන වෙලාවක ඒ ගැන ආයෙත් ලියන්නම්.

(විශේෂ ලියුම්කරුවෙක් විසිණි)

ලිබරල් ග්‍රෙනේඩ් එකක්: සජිත්ට අසාධ්‍යයි. ලිබරල් ග්‍රෙනේඩ් එකක්: සජිත්ට අසාධ්‍යයි. Reviewed by Admin on 5:10 AM Rating: 5

No comments

Top Gossip

gossip